කොරෝනා වැළඳිලා සුව වුණු උදවිය කළ යුතු දේවල් 7ක්

නැවත හෙමින් හෙමින් සාමාන්‍ය ජීවිතයට ..

Posted by

ඔබ කොවිඩ් 19 රෝගය වැළඳිලා පසුව සුව වුණු කෙනෙක් ද? නැත්නම් ඔබේ ළඟ ම කෙනෙකුට කොවිඩ් 19 වැළඳිලා සුව වුණා ද? එහෙනම් නැවත හෙමින් හෙමින් සාමාන්‍ය ජීවිතයට පිවිසෙන්න ගත යුතු පියවර 7ක් තමයි මේ..

ඇති තරම් කල් ගන්න

මුලින් ම කියන්න ඕන, කොවිඩ් 19 සුව වුණ ගමන් ක්ෂණික ව ඔබේ පරණ පුරුදු ජීවිතයට පිවිසෙන්න උත්සාහ කරන්න එපා. වෙනදා වගේ කලබලේට පොඩි වෙලාවක් ඇතුළත වැඩ ඔක්කොම කරන්න උත්සාහ කරනවා වෙනුවට එදිනෙදා කටයුතු ඉටු කරන්න ඔබට ඇති තරම් වෙලාව ගන්න. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු වෛරසයක ප්‍රහාරයට ලක් වුණ බවත්, ඒ නිසා ඔබට විවේකය අවශ්‍ය බවත් හොඳින් සිහියේ තියාගන්න. ඒ නිසා ඔබේ සිරුර සහ මනස වෙහෙසට ලක් නොකර, හෙමින් හෙමින් සුපුරුදු දින චර්යාවට පිවිසෙන්න.

සෞඛ්‍ය පියවර දිගට ම පිළිපදින්න

මුඛ ආවරණ පැළඳීම, දෑත් පිරිසිදු ව තියාගැනීම, සමාජ දූරස්ථ භාවය ආරක්ෂා කිරීම කියන්නෙ අපි තව මත් පිළිපැදිය යුතු අත්‍යවශ්‍ය පුරුදු. නැවත ඔබට වෛරසය වැළඳීම දුර්ලභ තත්ත්වයක් වුණත්, එය සිදු වීමේ හැකියාවක් තියනවා. අනෙක් අතට, ඔබ වෛරසය ව්‍යාප්තියට අනුබල දෙන වාහකයෙක් බවට පත් වෙන්න තව මත් ඉඩ තියනවා.

කල්පනාවෙන් ඉන්න

ඇතැමුන්ට කොවිඩ් 19 වැළඳී සුවය ලැබීමෙන් පසු යළිත් විවිධ සංකීර්ණතාවලට ගොදුරු වීම් ගැන අහන්න ලැබෙනවා. ඒවා මුලින් ම කොවිඩ් 19 වැළඳිලා සති 4ක් හෝ ඊට වැඩි ගණනකට පසු ව ඔවුන්ට අත්දකින්න ලැබෙන අලුත්, දැනටමත් පවතින හෝ නැවත මතු වෙන සෞඛ්‍ය ගැටලු විදිහටයි හඳුනාගැනෙන්නේ. ඒ වගේ ම මේ ගැටලු කොවිඩ් 19 වැළඳුණත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ පුද්ගලයන්ටත් අදාළ වෙන්න පුළුවන්.

මෙවැනි සංකීර්ණතා ගැන කල්පනාවෙන් හිඳීම අත්‍යවශ්‍යයි. හුස්ම ගැනීමේ අපහසුතා, වෙහෙස, කැස්ස, පපුවේ/ බඩේ/ හිසේ වේදනා, පාචනය, නින්ද සම්බන්ධ ගැටලු, හන්දි/ මාංශ පේශි වේදනා, උණ, කරකැවිල්ල, සුවඳ/ රස දැනීමේ වෙනස්කම් සහ මානසික ව්‍යාකූලතා මීට අයත්. මේ රෝග ලක්ෂණ අධික ව පවතිනවා නම් 1999 - ත්‍රෛභාෂා සෞඛ්‍ය හදිසි ඇමතුම් අංකය අමතන්න.

ශරීර ශක්තිය පවත්වාගන්න

එක් වර ම ශරීරය අධික වෙහෙසට පත් වෙන ව්‍යායාම කරන්න එපා. ඒ වෙනුවට පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාම කීපයකින් ආරම්භ කරන්න. කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් ඔබේ සුපුරුදු ව්‍යායාම වෙත ළඟා වෙන්න එවිට ඔබට පුළුවන්.

සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් ගන්න

කොවිඩ් 19 වැළඳීමෙන් ඔබේ සිරුරත් මනසත් පීඩනයට ලක් වෙන්න වගේ ම දුර්වල වෙන්න පුළුවන්. එයින් සුවය ලබන්න නම් නිසි පරිදි පෝෂක සහ අතිරේක ඔබේ සිරුරට ලබා දෙන්න අවශ්‍යයි. ඊට සුදුසු ම ක්‍රමය සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම.

බ්‍රොකොලි, බීට්රූට්, නිවිති, කැරට්, තක්කාලි වැනි විවිධ පැහැ එළවළු වර්ග, පලතුරු සහ තැම්බූ බිත්තර වැනි ප්‍රෝටීන් වර්ග ඔබේ කෑමට එකතු කරගන්න. ඒවා ඛනිජ ලවණ, විටමින් සහ ප්‍රතිඔක්සිකාරකවලින් බහුල නිසා ඒවායින් ඔබේ ශරීරයට හොඳ ශක්තියක් ලැබෙනවා.

කොවිඩ් 19 වැළඳීමෙන් පස්සේ ඔබේ ආහාර රුචිය නැති වෙලා නම්, හොඳ ආහාර වේලක් ලබා ගැනීමෙන් එයත් මඟ හරවා ගන්න පුළුවන්. ආහාර රුචිය වඩවාගන්න උදෑසනට අමු පලතුරු කෑමට ගන්නත්, හැන්දෑවට පලතුරු යුෂ බීමට ගන්නත් නිර්දේශ කෙරෙනවා. 

දියර වර්ග පානය කරන්න

ශරීරය විජලනය වීමෙන් තොර ව තියාගන්න ඔබ නිතර දියර වර්ග පානය කළ යුතුයි. උණු වතුරට අමතර ව පොල් වතුර, පලතුරු යුෂ වුණත් මේ සඳහා සුදුසුයි.

එන්නත ලබාගන්න

අවසන් වශයෙන් මේකත් බොහොම වැදගත්. ඔබ තව මත් එන්නත ලබාගෙන නැත්නම් හැකි ඉක්මනින් එය ලබාගන්න. ඔබ සහ ඔබේ ආදරණීයයන් ආරක්‍ෂිත ව තියාගන්න සහ වසංගතය පාලනය කරන්න කළ හැකි හොඳ ම දේ එයයි. හැබැයි ඔබ එන්නත ගන්නට කලින්,

ඔබට ලැබිය හැකි හොඳ ම එන්නත මේ වෙලාවේ ලබාගන්න පුළුවන් මුල් ම එන්නතයි. ඔබට ළඟ ම එන්නත්කරණ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අමතන්න.




Latest